මෙන්න මෙහෙමයි Magic මෙන්න මෙහෙමයි Bioscope – ආලෝකෝ උදපාදි දෘශ්‍ය නිර්මාණ ශිල්පී කලාත් වර්ණකුලසූරිය

මැලේසියාවේදී නවීන සිනමා තාක්ෂණය උගත් තරුණයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි කළ කුලුඳුල් චිත්‍රපටය මේ දිනවල රට පුරා තිරගත කෙරෙමින් පවතී. චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන එය ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයයි. ඒ හරහා පරිගණක ආශ්‍රිත විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, ත්‍රිමාන සජීවිකරණය ආදිය පිළිබඳත් අපේ රටේ අලුත් කතාබහක් ඇති වී තිබෙන සෙයකි.

එහෙත් ඒ කතාබහට මුලපිරූ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේදී අපට හමුවන ත්‍රිමාන රූප සජීවිකරණ ශිල්පීන් නම් තවමත් මුනිවත රකී. මේ සුදානම ඔවුන් අතරින් කෙනෙකුගෙන්ම අප පුළුල් තිරයෙන් දකින සද්දන්ත අස්බැන්දුම්වල වගතුග එළි පෙහෙළි කර ගනිමින් තවමත් සිංහල සිනමාවට තරමක් ආගන්තුක බවක් පෙන්වන ඒ කලාවේ ගැඹුර විමසන්නටයි. ඔහු කලාත් වර්ණකුලසූරියයි. Read more

ලෙස්ටර්ගේ ‘සංදේශයට’ පසු ජගත් සිනමා උළෙල වංශකතාව අලුත් කරන චත්‍රගේ ‘ආලෝකෝ උදපාදී’

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ සිනමාපටය 1957 වර්ෂයේදී කෑන්ස් සිනමා උළෙලේ තිරගත කිරීමත් සමග ඇරඹෙන, ශ්‍රී ලාංකේය ජගත් සිනමා උළෙල නියෝජන වංශකතාව මේ මොහොත වනවිට වසර 59 කුත් මාස 06 ක් ගෙවා දමා අවසන්ය. එකී කාල පරිච්ඡේදය පුරාවට ශ්‍රී ලාංකේය සිනමා සිත්තම් 208 ක් වෙත අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කිරීමේ වරම් හිමිවූවද, ඒ අතරට එක්වූ ඓතිහාසික කථා මුලාශ්‍රයන් තේමා වූ සිනමාපට (Historical Movies) සංඛ්‍යාව 05 ක් වැනි අතලොස්සක් වීම විශේෂත්වයකි. එලෙසින් පෙරකී සිනමා ශානරය යටතේ අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කරන 06 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙසින් චත්‍ර වීරමන්ගේ Chathra Weeraman ‘ආලෝකෝ උදපාදී’ සිනමාපටය, අදින් ඇරඹෙන 47 වෙනි ඉන්දියානු අන්තරජාතික සිනමා උළෙලේ නිළ තෝරාගැනීමක් (Official Selection) ලෙසින් එකී උළෙල නියෝජනය කිරීමට වරම් ලබන්නේ , ශ්‍රී ලාංකේය ජගත් සිනමා උළෙල නියෝජන වංශකතාවට නව පරිච්ඡේදයක් එක්කරලමිනි.
‘ඒ’ ඛාණ්ඩයේ ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික සිනමා උළෙලයන් මෙන්ම නිසි ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යන්නාවූ සෙසු ජගත් සිනමා උළෙලයන්ද (හන්දියක් හන්දියක් ගානේ අටවාගත් සිනමා උළෙලයන් මීට අදාල නොවේ) සිය උළෙලයන් උදෙසා සිනමාපට තෝරාගැනීමේදී අනුගමනය කරන්නා වූ පොදු ප්‍රතිපත්තීන් හා සම්මතයන් හේතුකොටගෙන , එවන් උළෙලක නිළ තෝරාගැනීමකට (Official Selection) ලක්වූ සිනමාපටයක් බවට පත්වීමට ඓතිහාසික කථා මුලාශ්‍රයන් තේමා වූ සිනමාපටයකට ඇති අවකාශය ඉතාම අල්පවේ. මෙහිදී එකී සිනමාපටයන්ට මුල් වූ ඒ ඒ කථා වස්තූන් ඒ ඒ රාජ්‍යයට සීමා වීමත්, එකී සිනමාපටවල අන්තර්ගතයන්හී දක්නට ලැබෙන්නා වූ පොදු ලක්ෂණත්, මෙකී සිනමා ශානරයට අයත් සිනමාපටයන්හට ලොව මුල් පෙළ සිනමා උළෙලයන්හී වැඩි ඉඩකඩ අහිමිවීයාමට මූලිකවම ඉවහල් වී ඇත. මේ බැව් අතීතයේ පටන් මේ දක්වා කෑන්ස්, වෙනීස් , බර්ලින්, රොටර්ඩෑම්, කාලෝවී වේරි, ඉන්දියානු ඇතුළු ලොව ප්‍රමුඛතම සිනමා උළෙලයන්හිදී නිළ තෝරාගැනීම් (Official Selections) හා බැඳුනු සිනමාපට අධ්‍යනයේදී මනාව පසක් වේ. එවන් තත්වයක් තුල පෙරකී සම්මතයන් හා සීමාවන් පරයායමින් , යම් ඓතිහාසික කථාංග සිනමාපටයක් ලොව ප්‍රමුඛතම සිනමා උළෙලක නිළ තෝරාගැනීමක් බවට පත්වේද, එය එකී සිනමාකරුවාගේ සිනමා භාවිතයේ විශිෂ්ටත්වයත්, අදාල සිනමාපටයේ අද්විතීය සිනමාරුපී බවත් එයින් විද්‍යාමාන වේ.
පෙරකී ලෙසින් සිනමාකරුවාගේ සිනමා භාවිතයේ විශිෂ්ටත්වයත්, අදාල සිනමාපටයේ අද්විතීය සිනමාරුපී බවත් හේතුකොට 1960 වර්ෂයේ චෙක් ජනරජයේ පැවති 13 වෙනි කාලෝවී වේරි අන්තර්ජාතික සිනමා උළෙල උදෙසා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සංදේශය’ සිනමාපටය සුදුසුකම් ලැබුයේ , අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කල මෙන්ම, ‘ඒ’ ඛාණ්ඩයේ ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික සිනමා උළෙලක නිළ තෝරාගැනීමකට (Official Selection) ලක්වූ පළමු ශ්‍රී ලාංකේය ඓතිහාසික කථාංග සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්වෙමිනි. සංදේශයට පසුව පෙරකී සිනමා ශානරයට අයත්, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගෝඩ් කිං’ සිනමාපටයත්, ඔහුගේම ‘වීර පුරන්අප්පු’ සිනමාපටයත්, ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ සිනමාපටයත් සහ සෝමරත්න දිසානායකගේ ‘සිරි පැරකුම්’ සිනමාපටයත් අන්තරජාතික සිනමා උළෙලයන් නියෝජනයන් කිරීමට සුදුසුකම් ලැබූවද, ඒ එකඳු සිනමාපටයකට හෝ ලොව ප්‍රමුඛතම සිනමා උළෙලක නිළ තෝරාගැනීමකට (Official Selection) ලක්වූ සිනමාපටයක් බවට පත්වීමට අවකාශ හිමිනොවීය. එහෙයින් 1960 වර්ෂයේ පටන් අද දක්වා වසර 56 ක් පුරාවට ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික සිනමා උළෙලක නිළ තෝරාගැනීමකට (Official Selection) ලක්වූ එකම ශ්‍රී ලාංකේය ඓතිහාසික කථාංග සිනමාපටය සඳහා වූ වාර්තාව ‘සංදේශය’ සිනමාපටය ඉදිරි පමණක් ලියවී තිබුණි. එහෙත් හෙට දින (නොවැ- 21) ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ‘ආලෝකෝ උදපාදී’ තිරගත වීමත් සමග, වසර 56 ක් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තනි සන්තකයේ පැවති පෙරකී වාර්තාවේ සම හිමි කරුවෙකු බවට පත්වීමට යොවුන් සිනමාවේදී චත්‍ර විරමන්ට අවකාශ හිමිවන්නේ , ශ්‍රී ලාංකේය ඓතිහාසික කථාංග සිනමාපට වංශ කථාවට නව පරිච්ඡේදයක් එක්කරලමිනි. එසේම මෙවර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල සඳහා ඉදිරිපත් වූ දහස් ගණනක් වූ අයදුම්පත් අතුරින් උළෙලේ ප්‍රධානතම අංශ 04 උදෙසා සංවිධාන මණ්ඩලය විසින් තෝරාගත් සිනමාට 106 අතර රැදුණු ඓතිහාසික කථාංග සිනමාපට 02 න් එකක් බවට ‘ආලෝකෝ උදපාදී’ පත්ව තිබීම ප්‍රශංසනීයය.
චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයෙන්ද , භාරත හෙට්ටිආරච්චිගේ සම අධ්‍යක්ෂණයෙන්ද, ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක සමන් වීරමන්ගේ තිර රචනයෙන්ද හැඩවුණු ‘ආලෝකෝ උදපාදී’ කැන්ඩි සිටි සෙන්ටර්හී අධිපති තුසිත විජයසේනගේ නිෂ්පාදනයකි.
අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කල ශ්‍රී ලාංකේය ඓතිහාසික කථාංග සිනමාපට
1. සංදේශය- ලෙස්ටර් ජේම්ස් පීරිස් (කාලෝවී වේරි- 1960- Official Selection/ එඩින්බරෝ- 1961- Official Selection)
2. ගෝඩ් කිං- ලෙස්ටර් ජේම්ස් පීරිස් (අන්තර්ජාතික ඕ.සී.අයි.සී- 1973- Official Selection/ ඉන්දියානු – 1983- Tribute)
3. වීර පුරන් අප්පු- ලෙස්ටර් ජේම්ස් පීරිස් (ඉන්දියානු – 1983- Tribute)
4. අබා -ජැක්සන් ඇන්තනී (ටැලින් බ්ලැක් නයිට්ස්- 2008- Official Selection- Panorama) -වර්තමානයේදී ලොව ප්‍රමුඛතම සිනමා උළෙලක් බවට ටැලින් බ්ලැක් නයිට්ස් පත්ව තිබුනද, 2008 වර්ෂයේදී එකී තත්වය ටැලින් බ්ලැක් නයිට්ස් උළෙලට හිමිව නොතිබුණි.
5. සිරි පැරකුම්- සෝමරත්න දිසානායක (තර්ඩ් අයි ආසියානු සිනමා උළෙල- 2014- Official Selection- Spectrum Asia/ ඩකා- 2014- Official Selection- Competition/ ලන්ඩන් රේන්බෝ- 2014- Official Selection)
6. ආලෝකෝ උදපාදී- චත්‍ර වීරමන් (ඉන්දියානු – 2016- Official Selection- Cinema of the World)
Written by Udithe Lakmal… Udithe Lakmal Kahandawaarachchi